spot_img

ඊළග විප්ලවය සදහා දස වැදෑරුම් සැලැස්මක් ප්‍රකාශයට පත්වේ

අසල්වැසියා ගේ සූදානම ගැන අවධානය ඉතාම වැදගත්ය. ආර්ථික, සමාජ හා දේශපාලන වශයෙන් ආසන්නතම රාජ්‍යය වන ඉන්දියාව ගන්නා තීරණ ශ‍්‍රී ලංකාවේ පැවැත්මට තීරණාත්මකව බලපාන සාධකයකි. සංවර්ධන සැලැස්ම තවත් අභියෝගාත්මක තැනකට කැදවන ඉන්දීය විශේෂඥයෝ නිදහස ලබාගෙන වසර සියයක් වන විට ජන සමාජය ඉහළම තැනකට කැදවන ඉලක්කයක පසුවේ. එහි දී, මෙතැන් සිට ඉදිරියට 2047 අවුරුද්ද දක්වා තෝරාගත් අංශ දහයක විප්ලවීය පරිවර්තනයක් කළ යුතු බව යෝජනා කර තිබේ.

බලශක්ති, ප‍්‍රවාහන, සන්නිවේදන, කෘෂිකර්ම, ආරක්ෂක, සෞඛ්‍ය, අධ්‍යාපන, ඊ පරිපාලනය, ඊ වෙළදාම, සහ පරිගණක ජාලා සමග නවෝත්පාදනය මෙම අංශ දහය වශයෙන් හදුනාගෙන ඇත. මෙම ක්ෂේත‍්‍ර සමග සන්නද්ධවන ඉන්දියාව දැනට ලෝකයේ පස්වැනි ආර්ථික බලවතාගේ තැන සිට තුන්වැනි ස්ථානය දිනාගැනීම සදහා ධෛර්යයකින් කටයුතු කරන බව සදහන් කළ යුතුය. ඉදිරි වසර විසි හතර අඛණ්ඩව ගමන් කළ යුතුව ඇති අතර කැපවීම හා සමාජයේ එකමුතුභාවය එහි දී ඉන්දීය නායකයන් වඩාත් අවධාරණයෙන් අපේක්ෂා කරයි. නිරෝගී ජන කොටසක් සහ උසස් ජීවන මටට්මක් අරමුණු කරන ඉන්දියානු පාලකයෝ දැනට පවතින ඒක පුද්ගල ආදායම වසර 2047 වන විට ඇමරිකානු ඩොලර් 2,400 ක සිට ඇමරිකානු ඩොලර් 20,000 දක්වා නැංවීමට සැලැසුම් කර ඇත.

දස වැදෑරුම් අංශ අතර ඉහළින්ම පවතින බලශක්ති අංශය කෙරෙහි ඉන්දියාවේ තියුණු අවධානය යොමු වී ඇත. රටට අවශ්‍ය බොරතෙල් වලින් සියයට අසූ පහක් ආනයනය කෙරේ. 2030 වන විට පොසිල බලශක්ති ප‍්‍රතිශතය සියයට 45 දක්වා අඩුකර හරිත අංශ සදහා යොමු කෙරේ. සුර්ය තාප, සුළග, එතනෝල් හා හයිඩ‍්‍රජන් බලශක්තිය කෙරෙහි නැඹුරුවනු ඇත. නිෂ්පාදනය කරන අතර හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් වශයෙන් ජාත්‍යන්තරයට විවෘත කිරීම ස<දහා පුද්ගලික අංශයට ආයෝජන විවෘත කරන්නට ඉන්දියාව තීරණය කර තිබේ. බහුවිධ අවම පිරිවැය නිෂ්පාදන ක‍්‍රියාවලිය හේතුවෙන් ඉන්දියාවේ විදුලිය ඒකකයක් නිපදවන්නට වැය කරන මුදල ශ‍්‍රී ලංකාවේ පිරිවැය සමග සසදන පසු තුනෙන් එකකි. ශ‍්‍රී ලංකාව රුපියලක් වැය කර විදුලිය ඒකකයක් නිපදවනවිට ඉන්දියාවේ මිල ශත තිස් ගණනකි. එය කර්මාන්ත, ව්‍යාපාර හා සාමාන්‍ය පාරිභෝගිකයන්ට විශාල වාසියකි.

බලශක්ති බහුලව භාවිතා කරන වාහන විදුලිය බලයට හැරවීම ප‍්‍රවාහනය විධිමත් කිරීමක් සේ සලකයි. දුම්රිය ධාවනය විදුලියට හැරවේ. සෑම ප‍්‍රධාන නගරයකම බස් රථ විදුලියෙන් ධාවනය කරන සැලැස්මක් ඇත. ගෑස් හෝ විදුලිය භාවිත කරන ති‍්‍රරෝද රථවලට පමණක් නවදිල්ලි නගරයට ප‍්‍රවේශ විය හැක. තවත් තවත් වසර හයකින් ඉන්දියාවේ භාවිතාවන සියළුම කාර්වලින් සියයට තිහක් හා ති‍්‍රරෝද හා යතුරු පැදිවලින් සියයට අසූවක් සම්පූර්ණයෙන්ම විදුලියෙන් පමණක් ධාවනය කිරීම අනිවාර්ය කාරණයක් බවට පත් කර තිබේ. සෑම ප‍්‍රාන්තයක්ම ඞීසල් හෝ පෙට‍්‍රල් වාහනයක් භාවිතා කළ හැකි වසර ගණන නියම කර ඇත. පෙට‍්‍රල් වාහනයක් උපරිම වශයෙන් වසර පහලොවකි. ඞීසල් වාහනයක ආයුකාලය වසර දහයකට සීමා පනවා ඇත. කාලය අවසන් වූ පසු විනාශ කෙරේ. අලූතින් වාහන මිල දී ගන්නා පිරිසට විදුලිය වාහන මිල දී ගැනීමේ දී බදු සහන පිරිනමයි.

සන්නිවේදන අංශය ද පෙරළිකාර තැනක පසුවේ. සන්නිවේදන කටයුතු සදහා දත්ත පිරිවැය ලෝකයේ අඩුම ස්ථානය ඉන්දියාව බව ප‍්‍රකාශ වේ. ඇමරිකාවට වඩා ගාස්තු සියයට තිස් තුනකින් අඩුය. පස්්වැනි පරම්පරාවේ සන්නිවේදන ජාලා සදහා ආයෝජනය කරන ඉන්දියාව එයට වඩා සිය ගුණයකින් වේගවත් හයවැනි පරම්පරාවේ සන්නිවේදනය නුදුරු කාලයේ දී ප‍්‍රකාශයට පත් කරන්නට නියමිත බව අනාවරණය කරයි.

දස වැදෑරුම් සැලැස්මෙහි කෘෂිකර්මාන්තයට ද විශේෂ තැනක් හිමිව ඇත. ගොවියන්ට පහසුකම් සැපයේ. විශාලතම ජනගහනයක් ඇති රටක් වශයෙන් ආහාර සුරක්ෂිතතාව ගැන සම්පූර්ණ අවධානය යොමු කර තිබේ. ජෛව විද්‍යාව හා තාක්ෂණය බහුලව යෙදවේ. රසායනික පොහොර හා කාබනික පොහොර අංශ දෙකම සමානව ප‍්‍රවර්ධනය කරන අතර නිෂ්පාදන සදහා සහතික මිල ක‍්‍රමයක් පවතී. පසු අස්වනු හානි වලක්වන පියවර ගෙන ඇත. කාලගුණ වාර්තා, පස්වල තත්ත්වය මැන ගැනීම සදහා නවීනතම ක‍්‍රම ගොවීහු භාවිතා කරති. ඩ්‍රෝන යානා භාවිතයට දිරි දෙන අතර ප‍්‍රාන්ත කිහිපයක් ඩ්‍රෝන යන්ත‍්‍ර අලූත්වැඩියා කිරීමේ තාක්ෂණික දැනුම කාන්තාවන්ට උගන්නවන පාඨමාලා ආරම්භ කර ඇත. බලශක්ති, ප‍්‍රවාහන, තාක්ෂණ අංශවල සිදුවන වෙනස්කම් අනුව කර්මාන්ත, ව්‍යාපාර ආදියට සැලකිය යුතු වාසියක් ලැබේ. මෙම ජවය ලබාගැනීම ස`දහා අවශ්‍ය කරන මෙහෙයුම, දැවැන්ත ආයෝජනය හා ඉලක්කයකට ගමන් කිරිම ඉතාම අවශ්‍ය කෙරේ.

ශ‍්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික හා සමාජ අර්බුදයෙන් මිදී වේගවත් සංවර්ධනයකට ඇතුළුවීම සදහා ක‍්‍රමෝපායයක් අවශ්‍යය. උත්පාදනය නංවන ක‍්‍රමවේද හදුන්වාදිය යුතුය. දැනට පවතින යල්පැන ගිය රාමුවෙන් බැහැර නව්‍ය පැතිවලට යොමුවිය යුතුව තිබේ. 2048 වන විට ශ‍්‍රී ලංකාව ද සංවර්ධිත දේශයක් බවට පත්කරන අදහසක් ඇත. ආණ්ඩුව මෙම ඉලක්කය කරා ගමන් කරන අදහස නිතර ප‍්‍රකාශ කරයි. සමාජ බෙදීම් තුරන්කර එක`ගතාව ඇති කරගත යුතුව තිබේ. ජාති, ආගම්, දේශපාලන පක්ෂ පැලැන්ති හා ඇති නැති පරතරය අනුව බෙදී ඇති සමාජය එක අරමුණක් කරා යොමු කිරීමේ දී සැලකිය යුතු පරිශ‍්‍රමයක් දරන්නට සිදුවේ.

දේශපාලන ක‍්‍රමය ගැනත් දේශපාලන නායකයන්ගැනත් පවතින විරෝධය මෙහි දී බාධාවකි. මහජනතාව සිය නායකයන් විශ්වාස කරන්නේ නැත. ඡුන්දය දිනන්නට විශාල පොරොන්දු ප‍්‍රමාණයක් දෙන නමුත් සෑම දේශපාලනඥයෙකුම බලය සහ සුඛ විහරණය සදහා පමණක් වෙහෙසෙන බව ජනතාව විශ්වාස කරති. අනාගත ඉරණම ගැන පැහැදීමක් නැති තත්ත්වය තුළ තම අනාගතය සාක්ෂාත් කරගැනීම සදහා වෙනත් රටකට හෝ ගොස් වැඩකරන්නට තීරණයක් ගෙන ඇති බව පෙනේ. ස්ථිර සැලැස්මක්, ප‍්‍රබල නායකත්වයක් හා අවංක භාවයක් රහිතව රට ගොඩනගන්නට හැකියාවක් නැත. පසුගිය අවුරුදු ගණන තිස්සේ සැලසුම් හා වැඩ පිලිවෙල විශාල ප‍්‍රමාණයක් අනාවරණය කර ඇත. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන, අය වැය කතා සහ දේශපාලන නායකයන් පවත්වන දේශනවල දී මෙම පැති මනාව පැහැදිලිව වටහා ගත හැක. කතාවට පමණක් සීමා වූ සැලසුම් අවසානයේ දී ශ‍්‍රී ලංකාව ණයගැති සහ ණය ගෙවන්නට පිලිවෙලක් රහිත සමාජයක් බවට පරිවර්තනය වී ඇත. මෙතැනින් ඔබ්බට ගමන් කිරීමට පරිවර්තනයක් අවශ්‍යය. විප්ලවීය තීරණ ගත යුතුව තිබේ. මහජන විශ්වාසය දිනාගත යුතුය. කෙටි හා දීර්ඝ කාලීන සැලසුම් සමග මහජන සංවාදයක් ඇරඹිය යුතුව තිබේ.

2023.09.10 – ලංකාදීප

spot_img

Latest articles

රටට අවශ්‍ය මුහුණුද? ක්‍රමයක්ද?  

මෑත කාලීන පසුබිම අනුව ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය. යහපත්...

හදෙන් වතුර ගෙන එන සැලැස්මක් මැතිවරණයට කලින් කරළියට 

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට අනුව හාල් හදෙන් හෝ ගෙනැවිත් දෙන පොරොන්දුවක් තිබුණි. එවකට ශ‍්‍රී...

එක රටක් තුළ එක නීතියක් පැනවීමට නීති කොමිසම සූදානම්

විවාහය හා දික්කසාදය ඇතුළු කරුණු ගණනාවක් අලලා එක රටක් තුළ එකම නීතියක් සම්මත කරගැනීමේ...

ස්මාට් නගර ඉදිකිරීමේ ඉලක්ක තවදුරටත් කල් දමන යෝජනාවක්.

තොරතුරු තාක්ෂණයේ දියුණුව සමග ජගත් ප‍්‍රජාව මහජන හිතසුව පිණිස තාක්ෂණ අවස්ථා ප‍්‍රයෝජනයට ගනිමින් සිටිති....
spot_img
spot_img
spot_img